Total Pageviews

Thursday, August 24, 2017

තෝසේ, උලුදුවඩේ, පරිප්පු වඩේ, අලබොන්ඩා, සාම්බාර් සහ චට්නි/  South Indian food








එළවලු තෙම්පරාදු මිශ්‍ර තෝසෙ -


අවශ්‍ය ද්‍රව්‍ය-
  • උලුදු පිටි කෝ.1
  • හාල් පිටි කෝ.1/2
  • පාන් පිටි කෝ.1/2
  • බී ලූනු ගෙඩියක්
  • අමු මිරිස් කරල් 3-4
  • සුදු ලූනුබික් 5-6
  • රස අනුව ලුනු
  • උලු හාල් හැන්දක්
  • අබ තේ හැදි 1
  • කරපිංච ටිකක්
  • කැරට්, බෝංචි, ගෝවා, ලූනු, අමු මිරිස් හීනියට කපාගන්න
  • බිත්තර 1 (කැමති නම් පමණක්)
සාදන ක්‍රමය - 

උදු පිටි,හාල් පිටි,පාන් පිටි සියල්ල වතුර ස්වල්පයක් දමා අනාගන්න.පිටි මිශ්‍රණය පැය 6ක් පමණ පිපෙන්න තබා ගන්න.

පිපුනු මිශ්‍රණය ගෙන අවශ්‍යනම් වතුර ස්වල්පයක් මිශ්‍ර කර, දියාරු මිශ්‍රණයක් හදාගන්න.ලුනු ස්වල්පයක්ද එක් කරගන්න. කැමති නම් පොල්කිරි එකතු කරන්නත් පුලුවන්.

දැන් භාජනයක් ලිප තබා තෙල් ටිකක් රත් කරගෙන අබ ටික දාල පුපුරනකොට උලුහාල් සුදුරු,මිරිස්,ලූනු,සුදු ලූනු හා කරපිංච සහ එළවලු දමා තෙම්පරාදු කරගෙන පිටි මිශ්‍රණයට එකතු කරන්න. කැමති නම් කහ ස්වල්පයක් සහ බිත්තර 1 ක් එකතු කරන්න.

ඉන්පසු මිශ්‍රණය විනාඩි 5 ක් විතර වහල තියල තෝසෙ හදන්න ගන්න. පෑන් එක ලිප තබා තෙල් තවරා පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා තුනීවට කරකවා තෝසෙ එක උයා ගන්න.


පරිප්පු වඩේ






අවශ්‍ය ද්‍රව්‍ය -
  • කඩල පරිප්පු 250 g
  • උඹලකඩ කෑලි ටිකක් ටිකක්
  • කඩල පිටි මේස හැදි 2
  • හීනියට කපාගත් බී ලූනු ගෙඩි 1 සහ කරපිංච ටිකක්
  • රස අනුව ලුනු
  • බේ/ සෝඩා තේ හැදි 1/2
සාදන ක්‍රමය -


පරිප්පු පැයක් විතර පොගන්න තියල වතුර බේරල කෑලි හිටින විදියට ග්‍රයින්ඩ් කරන්න. 


මේකට ලූනු, බේකිංසෝඩ, කරපිංච, කඩල පිටි සහ ලුනු එකතු කර හොදින් කලවම් කරල පැය ½ ක් වහල පැත්තකින් තියන්න.


වඩේ බදින්න තෙල් රත් කරන වෙලාවට උඹලකඩ දාල කලවම් කරන්න. දැන් තමන් කැමති හැඩයකට හදල ගැඹුරු තෙලේ බදින්න. 





තෙල් මදගින්දරේ තිබිය යුතුයි.
 



අලබොන්ඩා 



සාදන ක්‍රමය - 


වළදක් ලිපේ තියල තෙල් ටිකක් දාල රත්වෙනකොට අබ සහ සූදුරු දාන්න. එය පිපිරෙන විට තලාගත් සුදුලූනු සහ හීනියට කපාගත් බීලූනු බැදෙන්න දාන්න. 

බාගෙට බැදුනු පසුව තම්බාගත් අල සහ ග්‍රීන්පීස් දාන්න. ගරම් මසාලා, කෑලිමිරිස්, ගම්මිරිස්, කහ සහ රස අනුව ලුනු දාල කලවම් කරන්න. 

අල මිශ්‍රණය වියළියට තිබිය යුතුයි. 

අන්තිමට කො/මල්ලිකොල සහ දෙහි යුෂ දාල කලවම් කර ලිපෙන් බාල නිවෙන්න තියන්න.


පිටකවරය සදහා,

කඩලපිටි 100g, හාල්පිටි 50g, කහ, සූදුරු සහ ලුනු යන්තම් දාල වතුර ටික ටික එකතු කරමින් ගනකම් බැටර් එකක් හදාගන්න.

විනාඩි 15 ක් විතර වහල තියන්න. (කඩලපිටි සහ හාල්පිටි 2:1 අනුපාතයට ගන්න)

නිවාගත් අල මිශ්‍රණය ලොකු බෝල හදල කඩලපිටි බැටර් එකේ හොදින් දවටා ගැඹුරු තෙලේ බදින්න.


උලුදු වඩේ



සාදන ක්‍රමය -

පැය 6 ක් පමණ පොගවා ගත් උලුදු ඇට කෝප්ප 1 කට වතුර මේස හැදි 1ක් දාල ග්‍රයින්ඩ් කරන්න. 

හීනියට කපාගත්ත ලූනු, කරපිංච, අමු මිරිස් සහ රස අනුව ලුනු ටිකක් දාල කලවම් කරල නැවත පැය 2 ක් විතර පිපෙන්න තියන්න. 

අත් දෙකේ තෙල් ටිකක් ගාගෙන පිපුණු වඩේ මිශ්‍රණයෙන් මේස හැදි 2ක පමණ ප්‍රමාණයක් අරගෙන බෝලයක් හදල මැදින් වලක් හදල රත්වූ ගැඹුරු තෙලට දාල රන්වන් පාට වෙනකන් දෙපැත්ත හරවමින් බදින්න. 

තෙල් මද රශ්නෙන් තියාගෙන බදින්න.



සාම්බාර්




කඩල පරිප්පු මේස හැදි 2 කට තෙල් මේස හැදි 1 ක්, කහ සහ ලුනු ටිකක් දාල වතුර කෝපප 2 ක් දාල ප්‍රෙෂර් කුකර් එකේ තම්බගන්න.

ප්‍රෙෂර් කුකර් එකේ විස්ල් 1 ක් ගියාම ලිප නිවල වි.10 ක් විතර තියල අරින්න. 

දැන් වට්ටක්කා, මුරුංග, වම්බටු, පිපිඤ්ඤ, (තමන් කැමති එළවලු වර්ගයක් යොදන්න) සමාන ප්‍රමාණවලින් අරගෙන පොඩියට කපල තමබගත්ත කඩල පරිප්පු එකට මිශ්‍ර කරන්න. දැන් සාම්බාර් මසාලා , සියඹලා ඉස්ම මේස හැදි 1, හකුරු මේස හැදි 1ක් සහ රස අනුව ලුනු දාල තවත් වතුර කෝප්ප 1 ක් එකතු කරල ප්‍රෙෂර් කුකර් එකේ විස්ල් 2 ක් යනකන් තියල ලිප නිවන්න. 

දැන් වෙන භාජනයකට තෙල් ටිකක් ලිපේ තියල තලාගත් සුදු ලූනු, අබ, කරපිංච කොල 3-4 ක් වේලිච්ච මිරිස් කරල් 3 ක් විතර දෙකට කඩල රත් වෙච්ච තෙල් එකට දාල තෙම්පරාදු කරල කලින් හදාගත්ත සාම්බාර් එකට දාල මිශ්‍ර කරන්න.  

ප්‍රෙෂර් කුකර් එකක් නොමැති නම් සාමාන්‍ය විදියට ගැඹුරු භාජනයක පරිප්පු සහ එළවලුවලට අවශ්‍ය පමණ වතුර දාල තම්බගන්න. 



චිලි ටොමැටෝ චට්නි 

අවශ්‍ය ද්‍රව්‍ය -
  • වියලි මිරිස් කරල් 6-7 ක්
  • කජුඇට 5 ක් පමණ
  • ලුනු, ගම්මිරිස් දෙහි ගෙඩියකට යුෂ 
  • හොදින් ඉදුනු ලොකු තක්කාලි ගෙඩි 3ක් 
  • පොල් මේස හැදි 2 ක් 
සාදන ක්‍රමය -

ඉහත සියල්ල එකට දාල ග්‍රයින්ඩ් කරන්න.






Tuesday, August 22, 2017

බිත්තර සහ කුකුලුමස් මිශ්‍ර සැන්විචස් / Sandwiches 


*ලොකු පාන් පෙති 10 ක් සදහා  කුකුල්මස් ග්‍රෑම් 200 කට වඩා අඩු ප්‍රමාණයක් ගන්න. 

කුකුළු මස්වලට ලුනු, ගම්මිරිස් සහ ගොරකා දමා බාගෙට තම්බා ගන්න. ගොරකා නොමැති නම් විනාකිරි ස්වල්පයක් දමන්න.  බාගෙට තැම්බුණු කුකුළු මස් වලට ගාගත් චීස් කෝප්පයක් දමා සම්පූර්ණයෙන්ම තම්බා ගන්න. පසුව මෙය නිවෙන්න තබා කටු ඉවත් කරගන්න.


පෑන් එකකට බටර් ටිකක් දමා අබ ඇට ටිකක් ලූනු, ජින්ජර් ගාලික් පවුඩර්, කෑලි මිරිස් ස්වල්පයක් දමා තෙම්පරාදු කර කලින් තම්බා ගත් කුකුළු මස් ද එකතු කර තෙම්පරාදු කරන්න. මෙයටම තම්බාගත් බිත්තර පොඩියට කපා එකතු කරන්න. අන්තිමට දෙහි යුෂ දමා කලවම් කරන්න.

දැන් සැන්විචස් හදමු

පාන් පෙති වල වටේ කපා බටර් ගාගන්න. දැන් තෙම්පරාදු කර ගත් කුකුළු මස් මිශ්‍රණය තබා සැන්විචස් හදාගෙන කැමති හැඩයකට කපාගන්න. තමන්ට කැමතිනම් මෙම සැන්විචස් ටෝස්ට් කරගන්නත් පුලුවන්.




Sunday, August 20, 2017

කුකුලුමස් ව්‍යාංජනය


අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල්මස් ග්‍රෑම් 500 ක් සදහා,
හාල් මේස හැදි 1
පොල් මේස හැදි 2 
එන්සල් ඇට 2, කරාබුනැටි 3, කුරුදු පොත්තක්
අබ තේ හැදි 1 මේ සියල්ල කබලෙ බදින්න. යන්තම් කලුපාට වෙනකොට ඒකටම තුනපහ කුඩු මේස හැදි 1 සහ මිරිස්කුඩු මේස හැදි 2 ක් (තමන්ගෙ රස අනුව මිරිස් අඩු වැඩි කරගන්න) දාල කලුපාට වෙනකම්ම බදින්න. ගින්දර අඩුම කරල බදින්න. කරවෙන්න දෙන්න එපා. පසුව පවුඩර් වෙනකම්ම ග්‍රයින්ඩ් කරන්න.

සාදන ක්‍රමය

වළදකට තෙල් ටිකක් දාල රත් වෙනකොට අබ, සූදුරු සහ උලුහාල් ටිකක් දාන්න. එය පිපිරෙන විට තලාගත් සුදුලූනු, හීනියට කපාගත් බීලූනු, තලාගත් ඉගුරු කෑල්ලක්, රම්පෙ සහ කරපිංච දාල රන්වන් පාට වෙනකම්ම බදින්න. 

දැන් එයට චිකන් ටික දාල ටික වෙලාවක් බැදෙන්න තියන්න.

පසුව කලින් කුඩු කර හදාගත් පහේ ටික දාල කලවම් කරන්න. චිකන් තැම්බෙන ප්‍රමාණයට විතරක් වතුර ටිකක් දාන්න. චිකන් වලට වතුර උනන නිසා  වතුර අඩුවෙන් දාන්න. ගම්මිරිස්, විනාකිරි ටිකක් සහ රස අනුව ලුනු දාල හොදින් කලවම් කරන්න.

දැන් මස් ඇතිලිය වහල වතුර හිදිල උඩට තෙල් පෑදෙනකම්ම මද ගින්දරේ උයාගන්න. මෙම කුකුලුමස් ව්‍යාංජනය බොරට හැදුවම තමයි ගොඩක්ම රස.


Saturday, August 19, 2017

සැමන් සහ අල මිශ්‍ර කට්ලට්









  • සැමන් මාලු තම්බාගත් ලොකු අල ගෙඩි 4(අල බෙරි කරගන්න එපා වතුර ගතිය වැඩි වුණාම බෝල කරන්න බෑ), 
  • හීනියට කපාගත් බී ලූනු ගෙඩි 3ක් සහ සුදුලූනු බික් 5-6 
  • හීනියට කපාගත් කරපිංච සහ කොත්තමල්ලි කොල ටිකක්, 
  • ලොකු දෙහි ගෙඩියක යුෂ, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුනු, කහ, ගරම්මසාලා


 * වළදකට තෙල් ටිකක් ලිපේ තියල රත්වෙනකොට අබ සහ දුරු ඇට ටිකක් පිපිරෙන්න දාන්න. 

*  එයටම සුදුලූනු, බීලූනු, කරපිංච දාල බදින්න. ලූනු බැදෙනකොට අතින් පොඩිකරගත් මාලු සහ අල දාල කලවම් කරන්න. ඉතිරි පහේ සියල්ලම දමා හොදින් කලවම් කරන්න. විනාඩි 5 ක් පමණ උයාගත්තම ඇති. 

*  දැන් මේක නිවෙන්න තියන්න. 

*  පසුව බෝල හදල බිත්තර සාරුවල තවරා බිස්කට්කුඩු වල දවටන්න. මේ විදියට 2වරක් කරන්න. එහෙම කරාම වැඩිවෙලාවක් ක්‍රිස්පි ගතිය රැදිල තියෙනවා. 

* මෙහෙම හදාගත්ත කට්ලට් හුලන් නොවදින විදියට අසුරා ශීතකරණයේ දවස් 3 ක් තියාගන්න පුලුවන්. අවශ්‍ය වෙලාවට විනාඩි කීපයකට කලින් එළියෙන් තියල රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බදින්න. 

*  තෙල් ගොඩක් රශ්ණයෙන් තියාගන්න එපා වගේම අඩුම රශ්ණයෙන් තියන්නත් එපා කට්ලට් පුපුරනවා. 

*  කට්ලට් දවටන්න ගෙදරම හදාගත්ත පාන්කුඩු (breadcrumbs) ගන්නව නම් හොදයි. කට්ලට් එක රන්වන් පාටට ලස්සනට එනවා. කඩෙන් ගත්තම බැදිල ඉවර වෙනකොට දුඹුරු පාට වෙනවා. ඒ වගේම තමයි පිරිසිදු තෙල්වලින් බදින්න. 

------- 

*** ගෙදරම පාන්කුඩු (breadcrumbs) හදාගන්නෙ මෙහෙමයි

දවස් 2 ක් පරණ වූ පාන් පෙති කීපයක් අරගෙන වාටි කපල අයින් කරල පොඩි කෑලි කඩල ග්‍රයින්ඩ් කරන්න පවුඩර් වෙනකම්ම. මේක ග්‍රයින්ඩ් කරන්න කලින් වේලන්න ඕන නෑ. දැන් මේ බේඩ්ක්‍රම්ස් හුලන් වදින්නෙ නැති භාජනයකට දාල ශීතකරණයේ තියන්න. සතියක් තියාගන්න පුලුවන්.




Thursday, August 17, 2017

ඥාණකතා







ඥාණකතා






අවශ්‍ය ද්‍රව්‍ය 


  • සීනි 100 g 
  • බිත්තර 1 
  • කේක් පිටි 150 g (හෝ පාන් පිටි 150+ බේ/පවුඩර් තේ හැදි 1 ½ ) 
  • බටර් 75 g 
  • කිරිපිටි පවුඩර් 50 g 
  • වැනිලා තේ හැදි 1 



සාදන ක්‍රමය


බටර් සහ සීනි දියවනතුරු බීට් කරන්න. 

පසුව බිත්තරය සහ වැනිලා එකතු කර නැවත බීට් කරන්න. 

කිරිපිටි පවුඩර් සහ පිටි එකට කලවම් කර බිත්තර මිශ්‍රණයට දාල පැතලි හැන්දකින් කලවම් කරන්න. ගුලි කරාම අතේ ඇලෙන්නෙ නැතුව තියෙන පදමට එන්න ඕනෙ. 

දැන් පොඩි බෝල හදල අත්ලඋඩ තියල වටේට තුනී කරන්න. බිස්කට් එකේ මැද උඩට පිම්බිලා තියෙන විදියට තියෙන්න ඕනෙ. පින්තූරෙ බැලුවම පැහැදිලි වෙයි. 





දැන් තුනී කරගත් පිටි රවුම් උඩින් වතුර ගාල සීනි ඉහින්න. බටර් ගාගත් තැටියක තබා අංශක 180 උෂ්ණතවයේ විනාඩි 20 ක් බේක් කරන්න. 

මම ටිකක් රන්වන් පාට වෙනකන් විනාඩි 20 ට අමතරව තවත් විනාඩි 5 ක් බේක් කරා.

Sunday, August 13, 2017

සොසේජ් බන්




Sinhala Recipe:-

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිට් 600 g 
බටර් හෝ මාජරින් 100g
සීනි මේස හැදි 2
බිත්තර 2
මද රස්නය ඇති කිරි 200 ml
යීස්ට් මේස හැදි1 1/2
ලුනු තේ හැදි 2
(බටර් සහ බිත්තර කාමර උෂ්ණත්වයේ තිබිය යුතුයි)

සාදන ක්‍රමය
* ලොකු භාජනයකට කිරි දියර හැර අනෙක් සියල්ල දමා කලවම් කරන්න.

* දැන් කිරි ටික ටික එකතු කරමින් අනන්න. වතුර එකතු කරන්න එපා. කිරි පමණක් එකතු කරන්න. මේ පිටි ඩෝ එක අඩුම තරමෙ විනාඩි 20 ක් අනන්න ඕන. පසුව තෙත රෙදි කෑල්ලකින් වහල තියන්න. පැය 1 ½ ක් විතර යනකොට ඩෝ එක පිපිල දෙගුණයක් වෙනවා. මතක තියාගන්න ඩෝ එක අනන තරමට තමයි බනිස් සොෆ්ට් වෙන්නෙ ඒ වගේම හොදට පිපිල එන්නෙ.

*  පිටි මෝලිය හොදින් පිපුනට පස්සේ නැවත විනාඩි 5 ක් විතර අතින් අනල  පොඩි බෝල වලට වෙන් කරන්න.

*  වෙන් කර ගත් බෝල පිටි ඉසගත් ලෑල්ලක තුනී කර එක් කොනක සිට අනෙක් කොනට රෝල් කරගෙන යන්න ස්විස් රෝල් කේක් එක රෝල් කරනව වගේ. 

* දැන් බේකින් ට්‍රේ එකට බටර් ටිකක් ගාල මේ හදාගත්ත බනිස් එකිනෙකට ටිකක් පරතරය හිටින විදියට තියන්න. නැවත තෙත රෙදි කෑල්ලකින් වහල පිටි බෝල දෙගුණයක් වෙනකම්ම තියන්න.

* මේ විදියට හදාගත්ත බනිස් වර්ග තුනේම උඩින් බ්‍රෂ් එකකින් බිත්තර කහමද සහ කිරි දියර එකට කලවම් කරල ගාන්න. කලින් රත් කරන ලද අවන් එකේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 15 – 20 ක් අතර කාලයක් බේක් කරන්න. අවන් එකේ සහ බනිස්එක හදන පිටි බෝලවල  ප්‍රමාණය අනුව කාලය වෙනස් වෙනවා.
බේක් කරනලද බනිස් උඩින් දියකරගත් බටර් ගෑවම ගොඩක් රසයි වගේම ලස්සන ෂයින් එකක් එනවා.

*  බේක් කරගත් බන් ටික වෙලාවක් නිවෙන්න තියල බනිස්වල උඩින් හරි මැදින් පොඩි කොටසක් කපල අයින් කරන්න.  ඒ අයින් කරන ලද තැනට බැදගත් සොසේජ් කරල කෑලි කපල තියන්න.  ඇස් සදහා කරාබුනැටි පාවිච්චි කරන්න.  සොසේජස් පිටුපස ලූනු පෙති, තක්කාලි පෙති සහ සලාද කොලයක් තියල කාර් එක සරස ගන්න. කාර් එකේ  රෝද සදහා සොසේජස් පෙති කපා ටූත්පික්වලින් රදවා ගන්න.

*  තමන්ගෙ නිර්මාණශීලීත්වය අනුව මේ බනිස් වෙනත් ක්‍රම වලටත් හදාගන්න පුලුවන්.  පොඩි බබාලගේ උපන්දින සාදවලට ගොඩක්ම ගැළපෙන නිසා පොඩි අදහසක් දීමට තමයි මම උත්සහ කළේ.



[English Recipe: coming soon]


- Wasana Mayadunne @rasarasoi